දන්තපුරේ රාජා හුත්වා යන තන්හි ඔහු දන්තපුරයෙහි රජ වූ පරිදි කිසේ යැ යත් ?
මොහු මුත්නා කලිඟු රජු දවසැ ඔහු දරුවන් දෙදෙනාගේ ලක්ෂණ බලන නෛමිත්තිකයෝ පියා ඇවෑමෙන් මහ කලිඟු කුමරුහු එනුවර රජ වන පරිදි කීහ. සුළුකලිඟු කුමරහු තාපසවෙෂධර වැ ජීවිකා කරන සේ ඔහු පුතකු චක්‍රවර්ති වන සේ කීහු.
එක්බිති දෙටපිත් පියා ඇවෑමෙන් රජ විය. කුඩා පිත් යුව රජ වී. එකල්හි සුළුකලිඟුකුමර “මපිතෙක් සක්විති වේලැ” යි පුතු නිසා උපන් අභිමානයෙන්ගර්විත වැ වැටෙයි. රජ ඒ නොවින්දහී ‘එව්හු ගන්ව’ යි යෙදී. එකෙනෙහි චරයෙක් ගොස් “රජ තා ගන්නට යෙදීය. තා දිවි රැකෙන තැනකට පලා යා” යි කී.
එකල්හි සුළුකලිගුකුමර තමාගේ හස්මුන්දද් සිහින් පලසද් කගරුවනද්තමහට වැඩ පසස්නා ඇමැත්තක් හට පෑ“මෙසලකුණෙන් මතු ආකලැ ඔව්හට රජය දෙව” යි කියා නුවරින් නික්ම ගම් නියම්ගම් ජනව් මලමඩුලු ගෙවා ගොස් හිමවත් අබියෙසට වැද නිල් අඹරෙහි උල්කාපාත සෙයින් මතැත්යුද්හි දළගැහැටමෙන් නිල්වන අතුරෙන් පලන ගිනිදල බලමින්, මරාසලවටැහි සිඳි වගුළ පියුම්රා මිණි රූ සෙයින් නවසද ලපෙළෙව මත් මුවරජුන් නියපඳුරෙන් පැළුෑ මතැත්කුඹින් මුත් මුතුකැල දක්මින්, මේ ගැබ්හි විදුලිය සෙයින් අහසින් ගොස් වන අතුරට වදනා සිඳඹුවන් සියෝ සහකග සිද්බළන් නහමමින්, බමරපියරැවින් හොබනා සුපිපි තරුවනයන් බලමින්, සඳකත්ගඟුල්ඌල් කෙළැ කොළොඹිළු වැද මුවරඳ රොන් තවරගෙන දවන රවන බමන බමර වැළ අළලමින් බට හිමව් පවන් පහස් ලැබෙමින් ගොස් සොමි සිහිල් සිනිඳු පහන්දිය ඇති හොයක් වෙතැ රමණී පියෙසෙක්හි අසපුවක් කොටගෙන තවුස් පැවිජි වැ විසී.
මදුරට ද සාගල නුවර මදුරජු දුවක් උපන. නෛමිත්තිකයෝ ඇය ද ගේ ලක්ෂණ බලා “මෝ තාපස වැ ජීවිකා කෙරෙයි මැය පිතෙක් වූ කලැ චක්‍රවර්ති වෙයි” කීහු. මුළු දඹදිව්හි රජහු එපවත් අසා උනුන් යතා ගතැටි වැ එකපැහැර අවුද් නුවර පිහිත කොට වටා ගත්හු.
එකල්හි මදුරජ “ඉදින් මම මදුව මොවුන් කෙරෙන් එකක්හට දිනිම් නම් තෙසු රජහු දහති. සිතා මදුව රැක්ක මැනැවැ” යි සිතා දුව ද බිසොව ද හැරගෙන එක්තරා වෙසෙකින් නික්ම පලාගොස් වනයට වැද සුළුකලිගුකුමරහට නුදුරුතන්හි උඩුහොයැ අසපුවක් කොටගෙන පැවිජි වැ විසී.
මෙසේ පැවිජි රජු හා බිසොව හා දෙදෙන දුව අසපුවෙහි හිඳුවා වනයට ගොස් පලපිලි ඇර කා වැටෙත්.
එකල්හි යුවරජසිරිවියෝ මහගිමින් කල කුළු සුළුකලිගුකුමරහු සනහමින් මෙන් වහරේ කලෙක් සම්ප්‍රප්ත වී.
එකල්හි කල්වියෝ සුළුකලිගුකුමර මරාසලවටහි සිඳ වගුළ පබළු වැළරූ බඳු නවසදලගැවසි මිහිපිටුහි සරන රතිඳුගොව් කැල දැක; ගනකල් නමැති පියා ලළවන විදුලිය නමැති රන්දමට ලියනගලාලිය නමැති අඟනන් දිගුකළ රතත් සෙයින් පිපිලියන ගලාමල් දැකැ; දිග්නමැති අඟනන් නිල්වලා නමැති මුහුළස්හි පලන් විසිතුරු මල්කම් සෙයින් තෙව්නා දෙව්දුනු බලා ලියනඟලාලිය නමැති අඟනන් කුසුම් නමැති රතතින් ගත් මුත්හරබඳු මලින් ගලන දිය දහර බලා; විදුලිය මැ රන්දම් ඇති කොකවැළ මැ දළ ඇති ගලන දිය දහර බලා; විදුලිය මැ රන්දම් ඇති කොකවැළ මැ දළ ඇති ගලන දියදහර බලා; විදුලිය මැ රන්දම් ඇති කොකවැළ මැ දළ ඇති ගලන දියදහර මැ මද පොද ඇති ඇත්බඳින් බජන නිල්වලාකුළු නහමා; ගල්පයත්හි මත්ගඳගජන් හා සැහැසෙමින් මෙන් ගල් හිසට බට ජලලඹ නිල්මේකුළුහි ගජගැජුම් බඳු ගන ගැජුම් අසා; හමුළු සිහිල් උතුරනල පහස් ලදිනුද් අස්වස් නොලද්.
එකල්හි පුරුදු රිවිකල්හු දස්නෙන් වනපත් දසවමියන් වලාවරලසින් ඉස පියන ගනපොද පතර මැ මීසිඳුවර විලසින් සැදි; ගනගැජමෙන් විසිර ගිය මත්බලාපෙළ මැ එම වනසෝකල් පියමින් විහිය නොහී ඉසපියන දළලෙළපඬෙරහර සිරින් හොබනා; ඔවුන් මැ මියෙනඩුහුරු නලහව්වක් උසුලමින් පුල් නී කොළොඹිළුහි මඳ මඳ සැලැසෙමින් මමන පවනසින් වහරේ කල් එව්හට අකල් වි.
දසනුදස සැඟ වූ නිල්වදුල් හා සමග කල්වියෝ සුළුකලිඟු කුමරහට වනසෝකල් බොල් විය.
වලා නල හා සමග මියැ නුඩුහුරු නල මමීය. විදුලිය හා සමග මන වෙවුලිය. වැසිදහරා හා සමග කඳුළු දහරා වැහිණ. දිගත්හි දිවගත් මත්බලාපෙළ මැ කිරිවලා සේ පැනිණ.
ජලලඹකළඹින් වැදිලිගත් තැන් මැ දිවයුරුතෙදින් දම් තැන් සේ පැනිණ. කොළොඹවන හිසින් මමන මුවරඳරොන් මැ රජකඳ සේ පැනිණ. වළානෙලෙන් මමන සිහිලැල් පොද මැ කුරුරස් ගොර මිරිඟුදල සේ පැනිණ. හේ ඔව්හට සිහිලස් දෙන වහරයෙක් නොවීය. සතැවුලි කරන මහගිමෙක් වී.
මෙසේ කල්වියො වැ වනවන් රජකුමරහු එකලා වැ දිරිය බැල ලා වහරේ කල් ගෙවූ කල්හි සරාසිරින් මුළුලෝ යහපත් වී. එකල්හි සරා සඳරසින් දිලියෙන මුළුලෝ දැක, සහගුම් මිණිදැල්පෙළ බඳු, බමර වැළන් හොබනා වනවිල් දැකැ, තුරුපියන් වෙළෙප්මහදත්හි හෙවැ බිඟු පියරැවින් හොබනා වනවිල් දැකැ, තුරුපියන් වෙළෙප්මහදත්හි හෙව බිඟු පියරැවින් ගාන මලිගියලියන් දැක, සුළු කලිඟු කුමරහු ආහපත් වූ කල්හි වසත් සිරින් මුළුලෝ සව්සැජ් වී.
එක්බිති නන් කුසුම් රෙජෙන් ලොව් තවරමින්, කෙවුලන් කුල්වමින්, මත් මොනරගණා පිලඹරා කෙකා ගන්වමින්, වෙහෙල්මියුල් ගණා මනදොළ පුරමින්, ගඳගජන් මදකරවමින් මල්පල්ලෙන් සාමඩුලු සදමින් බමරකැල ගුම් ගන්වමින්, පියුම්තඹුරුවෙනෙහි රොන් උදහවමින්, සපුසළලසල්වෙනෙහි බිඟු මුමන ගන්වමින්, වියොජනන් සියො කෙරෙමින්, සියොජනන් මනදොළ පුරමින්, කෙළිදෙළෙහි උමතු නවයෝනන් වනයාකරවමින් නැඟි වසත් කල්හි, මදුරජහු දු මව්පියන් පලපිලියට වනයාකළකල්හි, නන් විසිතුරු කුසුම් ගෙන මල්සුඹුළුවක් කොට පැළඳගෙන, අසපුවෙන් නික්ම සිව්පැහැයෙන් වන අතුරු හොබවමින්, පුල් ලෙළ ලියවමින් බිඟුපියරැවින් බැණ කුසුම් අසුරෙන් ඕනා මුවරද රොන් තවර ලැබෙමින්, මඳ සුසුම් ගඳින් එවෙනෙහි බමරකැල බමවමින් ගොස්, හොවැළයෙහි හිණුපෙළක් සේ තුබූ මල්පල්ලෙන් සුසන් බමර ගඳැව් නොමුත් අඹරුකකට නැඟි කෙළැ පලන් මල් සුඹුළුව යට හොය නහා නැඟෙන සුළුකළිගු කුමරහු හිසැ ගොස් තුබුයේයි.
එකල්හි වනවන් යුවරජ මල්සුඹුළුව දැකැ “මේ නවයෝනෙහි සිටි ළදැරියක අත්තමැ”යි වසත්නළපහස් ලද නහඹ ගඳගජක්හු සේ හර්ෂයන් උත්කර්ෂ වැ ‘ගොස් බැලුව මැනැවැ’ යි උඩුගඟට යනුයේ කොමළ සුරත් පලුදෙලෙහි දිව් ලලා පියන් පියන්ගේ පියබඳහි ඉසුරු විඳ කෙළනා වෙහෙල්මියුල්ගණා නහමමින්, ලෙළ ලියගළ හොයළහි මොනරකිළින් මැද කෙකා රැවින් ගගා නටන මත් මොනරගණා බලමින්, බමරගිගුමෙන් ගුම්ගත් සුපුල් ලියළැහැබට වදිමින්, විසිතුරුකෙසුරුමල් දෙලෙන් ගැවසීගත් සුදු සිනිඳු මෙළෙක් වැලිපිටු මඬිමින්, හාවභාවයෙන් ලළිත වරඟනන් බඳු නිරුපුල්රුක්හි සුපුල්මල් නහමමින්, සඳුන් පලුලෙළ වූ සල්සලල මල්රොන් මුසු දිවගඳබර මඳාරාරජ ඉඳුහු දිව කිනුරුවෙණරැව්බඳු සහගුම් බමරකැල අළලමින් බැස තුනුවඟ ළඟ වැ යහදෙන හිමව්පවන්පහස් ලැබෙමින් ගොස් රජකුමරිය අඹරුක්හි හිඳ මියුරුසරයෙන් කියන ගී අසා රුක්මුලට එළැඹැ නිල්වලාගබ්හි විදුලියහව්යෙන් සිනිල්දලගබ්හි දිස්නා දැරිය දැක ලොමුදෙහෙන් උදම් වී.
එව්හු සුනිල් යුවළනුවන් බිඟුහු ඇය වුවන් පියුම් දැකැ ඇසිපිය පියා පහරා යහදසුන් මී බොත්. එකල්හි සුළු කලිඟු කුමර “මෝ දෙව්අපසරක හෝ? නා කිනුරු ගජඹ සිඳඹුවක හෝ” යි යන සිතින් “සොඳුර! තෝ කවරහයි” පිළිවිත්. එසඳ රජකුමර බමරපියරැව්බඳු සිනිඳු මියුරු තෙපුලෙන් ‘මිනිසක් මු හිමි’ යූ. එ අසා යුවරජ “සපුපැහැසිවිය! තී අඹුන්මිනිසක් බැවින් ගසින් බස්” වී.
මෙසේ නොයෙක් සේ බැණැ ගසින් බහානොගත හී “කියඟ සොඳුර! මහබඹ තෙමෙහෙ සඳින් සොමි ගෙනැ රන් ගලින් පහන්පැහැ උකාගෙන වනවිලින් මත්හස්යුවළක් ගෙනැ තුන් රත්පියුමක් ඇරැ එයින් එකක් තබා දෙකක් හිරාගෙනැ සිනිඳු සුනිල් මහනෙල්මල් දෙකක් හිරාගෙනැ සිනිඳු සුනිල් මහනෙල්මල් දෙකක් ගෙනැ ළහෝපල්ලෙහි මෙළෙකක් ගෙනැ ළහෙල්මැල්ලෙහි සිහිලස් ගෙනැ සැහැසි හනා වනා බමරබැර පුල් ලෙළ ලියෙක්හි එව තී මවමින් ළය කිසේ ගල කෙළේ හො” යි කී.
එසඳ රජකුමරී “හිමි! මම් කැතදුවක් මු එයින් මා නොබස්නා සේය” යි කියා ‘එසේ හොත් මම ද කැතකුමරෙක්මි යි’ කීයෙන් “හිමි! තෙපුලෙන් මතු ක්ෂත්‍රිය වුවහොත් ක්ෂත්‍රිය මායා කියව” යි බැණැ එවුහු ක්ෂත්‍රිය මායා කී කල්හි තොමොහොද් එව්හට ක්ෂත්‍රියමායා කියා අඹරුකින් බැස ළඟ වූහූ.
එකල්හි රජ කුමර බුලත්ලිය වැළඳි පුවක්තුරු පෙතින් හා තකුල්කපුරු වනරැජින් හොබනා සහබමර ලියගෙකක් දැක රජදුවට “මෙහි හාත්පස්හි බමරගදැව් පැවතිසේයැ මුවරඳ රොන් තවරගත් බමරඅඟනන් හා සමග රිසිසේ මල්මි බොන බමරහු අවන්සුව විඳුනවුන් වැනියව්හ. එයට යම්හ” යි ඇය තමන් වනවදුලට නොයාද රතත්පල්ලෙහි ගෙනැ ලියගෙට වැද පලුදලයහන් එළැඹ වලානලපහසින් පුබුදු කොළඹ වනයක් සෙයින් ඇය ප්‍රබෝධ කෙළේ.
එක්බිති එරජකුමර ඇය සිනිඳු පහන් පැහැ මැ සම වැ මමන සිලිල් ඇති නැබමඬුළු මැ සළා වැටුම් ඇති, සොමිවුවන් මැ නවපුබුදුපියුම් ඇති, මෙළෙක් ඇත් මැ පොකුරු දැලි ඇති, ලළන සුනිල් කියඹුවැළවරලු මැ බිඟුපෙළ ඇති, ඉහිල් වසන්රසන්වැළ මැ හුන් මිදෙල්කුසුම්රිණි ඇති, අලුත් අඟරා මැ පියුම් රජ තවර ඇති, විළිබර සිනා මැ පුප්නා කුමුදු ඇති, මුවතඹරෙන් ගලන වජැන් මැ මීබිඳු ඇති, කල්තුනුවිල්හි ගැලී වියෝ මහගිම් නිවා ඇයගේ අභිනව අවිදග්ධ සනාරසෙන් අද වැ අකුරු පලුමල්මීබිඳු සියෝ නලපහස් ලද රන්ලියක් බඳු සහවෙවුලුම් ලොමුදහගත් ඇඟ තඹලවන් කඳුළුඋතුළ නුවන් සොසුළු සොමි වුවන් බලා සඳුන් පලුදෙලෙන් විදැ මිණිඌල් වසා පැන් පොවා සරත්සඟා විනොයා සඳකත්මිණිගඟුලෙහි නහවා සිඳුවර පෙතක් හොත්සේ ගොස් සුපිපි ලියගෙක්හි සිට අසපුවට නඟා යවී.
හෝ මව්පියන් ආකලැ “කලිඟුරජහු පිත් යුවරජ සුළුකලිඟු කුමර තමා බෑ මහකලිඟුරජහුගේ උදහසින් අවුද් වනයෙහි වසනුයේ මා හොවැළෙහි දැක මා හා අවුද් දැන් මුඹ දෙදෙනා දැක්කැටි වැ සිටියේයැ” යූ. එකල්හි මදුරජ හා බිසොව හා දෙදෙන එව්හු ගෙන්වා ගෙනැ හැමපවත් පිළිවිසැ තමන් හා සමාන බව් දැනැ ඇය ඔව්හට මැ දුන්හු.
එයින් කීහ.
“ද්විපාදන්‍යස්මාදපි
මධ්‍යාදපි ජලනිධෙර්දිශො’ප්‍යන්තාත්
ආනීය ඣටිති ඝටයති
විධිරභිමතමභිමුඛීභූතඃ” යි.
මෙසේ විධිවශයෙන් සුළුකලිඟුකුමරහු හා මදුරජුව හා දෙදෙනා එක්ව ප්‍රියසංවාසයෙන් වැටෙන කල්හි එරජ දූ ගබ් ගෙනැ දසමස් අවෑමෙන් පින් ඇති මහපුරිස් ලකුණෙන් දිස්නා සිරිරු ඇති පුත්රුවනක් ලද්. එව්හු මුත්නා කලිඟු රජු නම් තබා සතර දෙන මහත් හරසරින් වඩත්.
එකල්හි කලිඟුකුමර තමා සුනිල් සිනිදු වරලින් හොබනා වට සිහින් තමල්ලිය නිල්මිණි නිල් මහනෙල් නිල්වලා පැහැ මඩිමින්: බැමයෙන් දෙව්දුනු, නුවනින් නිල්මහනෙල්, මියෙන් තඹුරු, දසනින් සිඳුවරකුසුම් පරයමින්: ගනරන්පටක් බඳු සොමිනළල් මැදෙහි එබූ නිල්තලාටිකින් වන දෙවියන් නුවන් මන අදමින්: මව තනන තන මැ රන්ගල්කුළුහි එබූ මියෙන් කිරිපැනුරාබොත් සහදප් කෙසුරුවෙස් පාමින්: පියා පුළුල් උරසයුරෙහි රන් සුනෙර සිරින් වොරජමින්; සැලූ දඹින් හා මැරූ කකුළුතුඹුරෙහෙරුයෙන් දෙමුත්නන් සොම්නස් මහවිල්හි ගලා නිඩුහුරු කෙරෙමින්; තඹුරුගැබ්හි බමරපියරැව්බඳු කල් බොළඳ තෙපුලෙන් ලෙවන් කන් ගන්මින්; සම මෙළෙක් වැලිතල මැ විල්පිටුහි පතුල් තඹුරු නොතබා මිනිස්මුස්වමින්; තවර මැ රජගත් කල්බඳින් මදමත්ගඳැත් වෙස් පියහට පාමින්; මොනරකිනුරා කෙවිලිමුවගණ හා කෙළිමින්; පියා යුවරජහු හා මුත්නා මහරජහු කෙරෙන් මහගත් උගන්මින්; ඔවුන් කෙරේ හැමසිප්හි නිපතට පැමිණෙමින්; මහත් ගඳගජන් අත්හි ගෙනැ බහා හොවමින්, සුරකිනුරුනාගදඹ සිඳඹුවන් නුවන් මන වුලුඹුමින් වැඩැ විය පත්.
එකබිති එව්හු පියේ නක්ෂත්‍රයෝගයක් දැකැ තමා බෑ රජහු මළ බැව් දැන පුතු කැඳවා වැළැත හිඳුවා “පුතැ! වනයෙහි නොවසා, තා මහලුපියේ මහකලිඟු රජ මෙළේ. තෝ දන්තපුරයට ගොස් කුලසතු ජය ගනැ”යි තමා අළ හස්මුන්ද ද පලස ද කඩුව ද දක්වාදී පුතැ දන්තපුරයෙහි අසුවල්වෙයැ අපට වැඩසරණ ඇමැතියෙක් ඇති, ඔහුගේ ගෙහි යහන් මැද බැස මෙතුන් සලකුණු පෑ මා පුත්බව් කියා, හේ තා රජයෙහි පිහිටුවයි” පුත්හට සමුදින්.
එසඳ කලිඟුකුමර මව්පියනුද් මුත්තනුද් වැඳ පැදකුණු කොට පින්මුවා ඉද්හයෙන් අහසින් ගොස් දන්තපුරයෙහි ඇමැත්තාගේ ගෙහි යහන් මැද බැස සිටියේ යි. එකල්හි ඇමැති කලිඟුරජකුමරහු දැක “විද්‍යාධරයෙක හෝ? යි දිව්‍යගන්ධර්වයෙක හෝ? යි යන සිතින් “තෝ කවරහි?” යි පිළිවිස “මම සුළුකලිඟුයුවරජහුපිත් කලිඟුකුමර නම්” යි හස්මුන්ද ද පලස ද කගරුවන ද පෑ කල්හි මහමනදාහු දුටු මහදිළිඳක්හු සෙයින් මහසොම්නසින් පිනා එපුරෙහි මහඇමතියනට කී.
එකල්හි ඇමතියෝ අවුද් කලිඟුකුමරහු දැකැ සොම්නස් වැ එනුවර දෙව්පුරයක් සෙයින් සදා එව්හු මඟුල් පෙරහරින් නහවා සුදු තවර ගන්වා සේදුහුල් හඳවා දළමුත්හර පළඳවා කඩාමල්කඩින් මුහුළස් හොබවා පළහෙළදළයහන්හි හිඳුවා දුහුල් වියන් බැඳ පළසුදුමලොලඹු දී වැටසිරි පහයා මඟුල් අවුස් වඩා පහ නෙළුෑහු.
අලුයෙහි කුමරහු මඟුල්ගීපළතුරින් දුරු වූ නිදිමෙදෙන් මත් වැ සඳපහන් ලකුළු වුවන් පුප්වමින් යහන්තෙලෙන් නැගීසඳ; සුපුල් කොළතුරෙහි ලැගි මත්කෙවුලන් “මඟුල්පෙරහරයුත් ජනා එන්නේල” යන වජනක් මෙන් හඬ නැඟුසඳ ; සුපුල් කොළතුරෙහි ලැගි මත්කෙවුලන් “මඟුල්පෙරහයුත් ජනා එන්නේල” යන වජනක් මෙන් යඬ නැඟුසඳ; කුමුදෝරෙහි මුවරඳ රොන් රජතැවරූ බමරකැල මඟුල්කඩා මල්දමැ වතුළසඳ; මඟුල්පෙරහර බඳ නන්ජනා මඟුල්මඩු වඩා සතුරුවන් රැස්හි සිටුවා තෙසකින් බිසෙව් දී “තුන්කල්හි මෙවැනි සැණයෙක් නොවූවිරීය” යවා මඟුල් කොට ඓරාවණාරූඬ වැ දෙව්පිරිස් පිරිවරා සුදසුන් මහවෙයින් ගොස් විජයත්මහපා වන් දෙව්රජහුගේ හව්යෙන් ඇත්කඳ හිඳුවා නුවර පිරිවරා රජගෙට වැඩූහු.
මෙසෙයින් කලිඟු කුමර දන්තපුරයෙහි රජ වී.
Comments
Post a Comment